මාතලේ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා භූමියේ මධ්‍යම පළාතේ වර්ග කිලෝ මීටර් 61.3 ක විශාලත්වයෙන් යුක්තව නැගෙනහිර දේශාංශ 80.28 සිට 80.59 දක්වාත්, උතුරු අක්ශාංශ 7.24 සිට 8.01 දක්වා විහිද පවති
උතුරින් අනුරාධපුරය ද නැගෙනහිරින් පොළොන්නරුව, බදුල්ල හා අම්පාර ද දකුණින් මහනුවර ද, බටහිරින් කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලින් මාතලේ දිස්ත්‍රික්කය මායිම් වේ.
මුහුදු මට්ටමේ සිට අඩි 1000 අඩු භූමි භාගයක හා අඩි 2000 වැඩි ලෙස මෙම භූමිභාගයේ පවතින භූවිෂමතා තත්වයන් අනුව නකල්ස්, ඕවිලිකන්ද, ඇතිපොළ,මකුලුස්ස, තැටිගල, දඹුලුගල, අරංගල වැනි කඳු පංති විහිඳි යෑම මතත්, එම කඳු පංති මතින් ගලා එන දියදහරා, ගංඟා, ඇලදොල සහිත අතිදර්ශණීය, සුන්දර පරිසරයත්, උෂ්ණත්වය 23 0C – 31 0C දක්වා පවතින දේශගුණික තත්වයන් මාතලේ දිස්ත්‍රික්කයට ලැබී තිබීම මහතලාව දේශීය විදේශීය සංචාරකයින්ගේ තෝතැන්නක් බවට පත් වීමට හේතු වී ඇත. එමෙන්ම විවිධ වු වටිනා ඛණිජ සම්පත් වලින් හා ලුණු හැරුණු කොට මිනිසාගේ ජන ජිවිතයට අවශ්‍ය සියළුම සම්පත් ලබා දෙන රටේ ආර්ථිකයේ ශක්තිය සඳහා ද ප්‍රභලම දායකත්වයක් සපයන දිස්ත්‍රික්කයක් වශයෙන් මාතලේ දිස්ත්‍රික්කය හඳුන්වා දිය හැක.
මාතලේ, දඹුල්ල , රත්තොට හා ලග්ගල වශයෙන් මැතිවරණ කොට්ඨාශ 04 කින් මාතලේ දිස්ත්‍රික්කය පරිපාලන පහසුව සඳහා වෙන්ව ස්ථාපිත වන අතර මහ නගර සභා 02 ක් සමඟ ප්‍රාදේශීය සභා 11 ක් වශයෙන් දිස්ත්‍රික්කය පරිපාලන වශයෙන් සංවිධානය වී පවතින අතර, මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල මාතලේ මහනගර සභාව හා මාතලේ ප්‍රාදේශීය සභාව ස්ථාපිතව පවතී.
මාතලේ නාමය විග්‍රහ කරන විද්වතුන් සඳහන් කරන පරිදි “මහතලය” මාතලේ වු බවයි. නමුත් වියත් මතය වන්නේ “මා තුල ජනපදය” මාතලේ වූ බවයි. විශාල දිය දහරා ගලා එන ප්‍රදේශයක් වු බැවින් ‘‘මාතිකා‘‘ හෙවත් “දියපහර” නාමයෙන් මාතලේ නාමය සැඳි ඇති බවට ද මත පවතී.
ප්‍රාග් ඵෙතිහාසික යුගයේ පටන්ම මාතලේ පුරවරය ඉතිහාසයේ විවිධ කාල පරිච්ජේදවල වර්ණවත් ලෙස ශ්‍රී ලංකාද්වීපයේ ප්‍රමුඛතම ඵෙතිහාසික සිදුවීම්වලට මුල් වූ දිස්ත්‍රික්කයකි. රාවණා යුගය, පණ්ඩුකාභය යුගය, විජය – කුවේණි යුගය, දේවානම්පියතිස්ස රාජ්‍ය සමය ආර්ථික, සාමාජීය, ආගමික, සංස්කෘතික අතින් වැදගත් දිස්ත්‍රික්කයක් වී ඇති බව පර්යේෂන කරන ලද කෘති මඟින් හා ජනශ්‍රැති වලින් හෙලිවේ. එම ඵෙතිහාසික සාක්ෂි පදනම් කරගෙන දැනට රචනා කර ඇති කෘතීන් විශාල ප්‍රමාණයක් පවතින අතර, කන්ද උඩරට මාතලේ පිළිබඳ තවදුරටත් විමර්ශණ, පර්යේෂණ සිදු කරන ඕනෑම අයෙකුට එම ලේඛන පරිහරණය කිරීමෙන් මෙම දිස්ත්‍රික්කයේ සියවස් ගණනක් පුරා විසිරි පැතිරි ඇති පුරාවෘත්ත, කාලවකවානු ඇතුඵ සියඵ තොරතුරු මනාව දැනුවත් වීමට උපයෝගී කර ගත හැකි වේ.
දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දී මාතලේ ප්‍රදේශයට උසස් දැව නිර්මාණ ශිල්පීන් පදිංචියට පැමිණි බවත්, වර්ථමානයේ දී එම පරම්පාරවන් මාතලේ දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත වෙමින් ගම්මාන වශයෙන් තම පරම්පාරවන් හා වෘත්තීන් අනාගත පරපුරට දායද කරමින් උදාර මෙහෙවරක යෙදී සිටී.
ඵෙතිහාසික මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ආලෝක විහාරයේ දි දේවානම්පියතිස්ස රාජ්‍ය සමය, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කළ වලගම්බා රාජ්‍ය සමය, කීර්ති ශ්‍රී නිශ්ශංක රාජ්‍ය සමය, කීර්තිසිංහ රාජ්‍ය සමය ආදි රාජ්‍ය සමයන් පසු කරමින් අද දක්වා විකාශනය වී තිබේ. මාතලේ පුරවරයේ ඓතිහාසික රංගිරි දඹුලු විහාරය ඉදිවීම හා දියුණුවට පත් කිරිම ක්‍රි.ව 7 වන සියවසේදි සිදුවී ඇති බවට සැලකේ.
කාශ්‍යප රජු විසින් ඉදිකරන ලද විශ්මිත නිර්මාණයක් වන සීගිරිය ද ශ්‍රී ලංකාවේ අවසන් රහතන්වහන්සේ හැටියට සැලකෙන මලියදේව රහතන්වහන්සේ වැඩ සිටි බවට සැලකෙන මැණික් ලෙන පිහිටි බිම ද ඇතුළු ඵෙතිහාසික පුරාණ යුගවලට අයත් වන බෞද්ධාගම හා සම්බන්ධ වන ආගමික ස්ථාන මාතලේ දිස්ත්‍රික්කය පුරා විහිද පැතිර පවති. ඊට අමතරව සියවස් ගණනක් පැරණි හින්දු ආගමික ස්ථාන, වහකෝට්ටේ කතෝලික පල්ලිය, මුස්ලිම් ජනතාවගේ ගෞරවයට පාත්‍රවන මුස්ලිම් ආගමික ස්ථාන රැසක් ද මාතලේ පුරවරය ආගමික සංස්කෘතික අතින් පෝෂණය වු දිස්ත්‍රික්කයක් වශයෙන් ගාම්භීරත්වයක් හිමිකර දීමට හේතු වී ඇත.
1817 ඌව වෙල්ලස්ස මහ කැරැල්ල සඳහා දායකත්වය සැපයු මාතලේ වීරයන් අතුරින් ඇල්ලේපොල මහ නිලමේ, අලුවිහාරේ නිලමේ, කොටුවේගෙදර කුඩා දිව නිලමේ ආදීහු වර්තමාන මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විසු වීරවරයන්ය. 1948 මාතලේ කැරැල්ලේ අප්‍රකට වීරයන් අතරේ නල්ලේවෙල කන්දෙගෙදර දුරයාද මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත්වූ ඓතිහාසික වීරවරයෙකි.
මෑත කාලීනව මාතලේ දිස්ත්‍රික්කයේ සාහිත්‍යය කලා ක්ෂේත්‍රයේ සුවිශේෂි දියුණුවක් දක්නට හැකිය. අලුවිහාරේ සරණංකර වැනි යතිවරයන් වහන්සේලාගේ හා සෝමරත්න හරස්ගම වැනි රාජ්‍ය සම්මාන ලත් ප්‍රවීන ලේඛකයන් ඇතුළු ලේඛක ලේඛිකාවන් බොහෝ පිරිසක් මාතලේ ප්‍රදේශය නියෝජනය කරමින් සාහිත්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට කටයුතු කරමින් සිටී.
පලාපත්වල නගරයේ ස්ථාපනය කරන ලද ගම්සභා කාර්යාල ගොඩනැගිල්ල
පළමු ගම්සභා කාර්යාලය
පළමු ගම්සභාපති භාවිතා කළ ආසනය
පළමු ගම්සභාපති භාවිතා කළ මේසය
ගම්සභාවේ පළමු සභාපති ගරු ක්ලෝඩ් අලුවිහාරේ මැතිතුමා
ගම් සභාවේ දෙවැනි සභාපති මිලීනා කුමාරිහාමි මැතිතුමිය
මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඵෙතිහාසික / පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්ත ස්ථානයක් වශයෙන් අලුවිහාරය රජමහා විහාරය හා නව බුදු පිළිමය පිහිටි භූමිය හඳුනාගත හැකිය. ශාසන ඉතිහාසයෙහි ඉතා වැදගත් වු ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම සිදු වු ස්ථානය වශයෙන් හඳුනාගන්නා අලුලෙන හෙවත් ආලෝක විහාරය මුලික කරගනිමින් 1973 සිට සංගායනා පෙරහැරක් ද පවත්වනු ලබයි.
කවටයාමුණ විහාරය – මෙම විහාරය ගජබා රජුගේ යෝධයින් සිය දෙනාගෙන් කෙනෙකු වු කවට යෝධයා විසින් ඉදිකරවන ලද බව සැලකේ. අපායෙහි විඳින දුක් හා දඩුවම් දැක්වෙනු මූර්ති හා චිත්‍ර වලින් මෙම විහාරස්තානය අලංකාර කර ඇත
ඇඹිල්ල විහාරය, හුලංගමුව, මාතලේ – අනුරාධපුර යුගය දක්වා ඉතිහාසයක් ඇති කටාරම්, සෙල්ලිපි, චිත්‍ර සහිත ලෙන් වලින් මෙම විහාරය සමන්විත වේ. වෘෂභ කුඤ්ජරය (ඇත් සහ ගව රුව) නම් බිතු සිතුවම් ද ඇත. එමෙන්ම පහල විහාරයෙහි ආශිර්වාද බෝධියක්ද ඇත.
පඩිවිට අම්බලම, කුඹියන්ගොඩ, මාතලේ – සුන්දර වෙල්යායක් මැද පිහිටා ඇති අලංකාර ලී කැටයම් වලින් සමන්විත පුරාණ අම්බලමකි. මාතලේ නගරයේ සිට 594 කුඹියන්ගොඩ මාර්ගයේ කි.මී. 3 ක් පමණ දුරක් ගිය පසු පඩිවිට වෙල්යාය මැද පිහිටා ඇත
මඩවල උල්පත පංච පිහිල්ල – වන රක්ෂිත ප්‍රද්ශයක පිහිටා ඇති මෙම පිහිල්ලට උල්පත් රැසකින් ජලය ලැබෙන අතර, ‘‘අත්ති උඩයන්‘‘ නැමැති ඖෂධීය ශාඛය මෙම ජල උල්පත් අසල දක්නට ලැබේ. බ්‍රිතාන්‍ය පාලන සමයේ ජර්මන්වත්ත (ආටිස්මලේ) ප්‍රදේශය වෙත ජලය සැපයිම සඳහා මෙම ස්ථානය භාවිතා කර ඇත